ආස්වාදය ඇත්තේ කොහේද? - ඇත-නැත දෘෂ්ටි වලට හසු නොවී යථාර්තය දකින්න.

ආස්වාදය-ආදීනවය-නිස්සරණය අවබෝධ කර ගැනීම සතර මග සතර ඵල වලට අතවශ්‍යම කාරණයක් ලෙස බුදු පියාණන් වහන්සේ පෙන්වලා තියනවා.

සත්වයා "ආස්වාදය" ලබා ගැනීමේ අරමුණින්ම අනන්ත සසර ගමනක් පැමිණ ඇත. මේතාක් තෘප්තිමත් කර ගැනීමට නොහැකිවූ ආස්වාදය මෙවරද "අද නැත්නම් හෙට ගනිමී", "හෙට නැත්නම් කවදා හෝ ගනිමී!" යන මුලා සහගත දෘෂ්ටියෙන් එහිම ගැලී සිටී. මේ ගැලවීම උදෙසා ආස්වාද බාහිර වස්තුන් තුල නොමැති බව දැකීම ඉතා හොඳ ආරම්භයක් සපයනවා. උදාහරන උපමා සහිතව මෙය පෙන්වා දුන් පසු බොහෝ පිරිසක් යථා අවභෝධය ලබා ගත්තද ඇතැමෙක් "ආස්වාද ඇත්තේ බාහිර ද්‍රව්‍ය වස්තු වල නොව තමන්ගේ හිතේමයි" තියෙන්නේ කියලා වැරදී දෘෂ්ටියකට බහිනවා. ඇත්තටම ගත්තොත් මෙතනදී දැකිය යුතු සියුම් වැදගත් දෙයක් තියනවා. ඒ තමයි "ආස්වාද ඇත්තේ කොහොද?" කියන ප්‍රශ්නයට උත්තර සොයනවාට වඩා වැදගත් වන්නේ එහි යතා ස්වභාවය දකින එකයි. යථා ස්වභාවය යනු මෙයි...

උදාහරණයක් අරගෙන බලමු.

කෙනෙක් වම් අත සහ දකුණු අත එකට එක් කරමින් අත් පුඩි ශබ්දයක් නගනවා. දැන් අපි ඇහුවොත් අත්පුඩි සද්දය කොයි අතේද තිබ්බේ කියලා මොකක්ද දෙන උත්තරය? එක අතකවත් තිබ්බේ නැහැ, අත් දෙකේ එකතුවෙන් ගොඩනැගුනු දෙයක් කියලා තමයි කියන්න වෙන්නේ.

මෙන්න මේ වගේ ආස්වාද ගොඩනැගෙන පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය අපි අවබෝධ කරගන්න ඕන. බාහිර උපදානීය වස්තුවත්, රාගික අභ්‍යන්තර ආයතනයත් ස්පර්ශ වීම ප්‍රත්‍යයෙන් සම්පස්සජා වේදනාවක් ගොඩනැගෙනවා. එහි කෙලවර ආස්වාද විඳින ජාතිය පහල වෙනවා. මෙන්න මේ ජාතියත් සියලු ජාති ධම්ම වලට උරුම ලෙස ඒ මොහොතේ සිටම ජරා මරණ ආදී එකොල්ස් ගින්නකට යටත්ව දුක් කඳ නැවත උදා කර දෙනවා. ආස්වාදයේ මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය නිසාම එය මුල් කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ, අනිච්චයි. ඒ වගේම ආස්වාද දුක්ඛයි, අනත්තයි, විපරිනාම ධම්මයි කියලත් අපි අවබෝධ කර ගත යුතුයි. ආස්වාදයේ අනිච්ච ස්වභාවයට හේතුව එහි පටිච්චසමුප්පන්න ක්‍රියාවලියම මිසක් එය බාහිර ද්‍රව්‍ය වස්තුවල නොතිබීම නොවෙයි. තිබෙන/නොතිබෙන බව හෝ කොහෙද තියෙන්නේ/කොහෙද නැත්තේ කියලා සෙවීම තුල ඇත-නැත යන දෘෂ්ටි දෙකට හසුවෙනවා. යථා (පටිච්සමුප්පන්න) ස්වභාවය දකින්න බැරුව යනවා. පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය දැකීමෙන් පමණයි ඇත-නැත දෘෂ්ටි වලට හසු නොවී යථා අවබෝධය ලබාගන්න පුළුවන්.

"අනත්ථ" දැකීම

මීට සමාන පටලවීමක් "අනත්ථ" දැකීම තුල තියනවා. ඇත යන දෘෂ්ටිය තුල ආත්මයක් ඇත ලෙස ලෝක සත්වයා දකිනවා. නැත යන දෘෂ්ටිය තුල ආත්මයක් නැත ලෙස දකිනවා. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්වනවා, තිබෙන/නොතිබෙන දේ නෙමෙයි උදා වෙච්ච දේ අර්ථවත්ද? අනර්ථවත්ද? කියලා බලන්න කියලා. ඇත-නැත ප්‍රශ්න වලට උත්තර නොසොයා, උදා උනදේ මොකක්ද, කොහොමද උදා උනේ, උදා නොවුනානම් කෙසේද? උදා නොකරන මාර්ගය මොකක්ද? කියන මේ ප්‍රශ්න හතර බැලුවානම් සිව් අරිසස් අවබෝධ වෙලා දුකෙන් මිදෙනවා.

මූලාශ්‍ර වුනු දේශනය: ආස්වාදය ඇත්තේ කොහේද?

Comments

Popular posts from this blog

ඉතිපි, සෝ භගවා... නව ගුණ ගාථාවේ නිවැරදි උච්චාරණය

අනිච්ච

මොනවද මේ නිරුක්ති?