අනිච්ච

සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොව පහල වන්නේ ඇයි?


"නහි සීල වතං හේතු - උප්පජ්ජන්ති තථාගතා
අට්ඨක්කරා ථීනි පදා - සම්බුද්ධේන ප්‍රකාශිතා"

සිල් වතක් දීමට නොව - තථාගතයන් වහන්සේලා පහල වෙන්නේ
අකුරු අටකි පද තුනකි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ දේශනාව.

මේක තමයි ඒ ගාථාවේ සරල තේරුම.

මෙහි අකුරු අටයි පද තුන වෙන්නේ "අනිච්ච දුක්ඛ අනත්ථ" . බැඳී අකුරු ලෙස ගත් විට තමයි අටක් ලැබෙන්නේ.

එතකොට මේ පද තුනේ "අනිච්ච" කියන පළමු පදය කෙතරම් වැදගත්ද කියනවානම් බුද්ධ ශාසනයේ හදවත වගේ. මේ පදයේ නිවැරදි අර්ථය යටපත් උනොත් නැතිවෙන්නේ බුද්ධ ශාසනයි, ඒ කිව්වේ මග ඵල ලාභියෝ. ඒ නිසා මේ පදයේ නිවැරදි අර්ථය තොර ගන්න කෙනෙක්ට උපකාරයක් වීමයි මේ ලිපියේ අරමුණ. (මෙය උප-කාරයක් විතරයි, "කාරය" තමන් විසින් බුද්ධිමත්ව සිතා බලා කර ගන්න ඕනි.)

අනිච්ච ප්‍රධාන අර්ථ

අද වන විට "අනිච්ච" යන පදයට ඇති අර්ථ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්.

අනිච්ච Anichcha
අනිත්‍ය - අනිච්ච

අනිත්‍ය, වෙනස් වන සුළු ස්වභාවය, ස්ථිරව නොපැවතීම, ඇතිවෙන-නැතිවෙන ස්වභාවය, "පෙර නොතිබී හටගෙන, ඉතුරු නැතිව නිරුද්ධ වීම"

මේ අර්ථ සියල්ලටම පාදක වෙලා තියෙන්නේ අදවන විට සියලු ලෝකවාසී බෞද්ධ ආගමික පිරිස අතරේ ප්‍රචලිත ත්‍රිපිටකයේ "අනිච්ච" පදයට "අනිත්‍ය" කියලා පරිවර්තනය කර තිබීම. මේ පරිවර්තනය කරලා තිබෙන්නේ හින්දු වේදය පිලිබඳ විශාරද වූ, වේදයේ ගුරුවරයෙක් (ත්‍රිවේදාචාර්යවරයෙක්) වූ බුද්ධ ඝෝෂ හිමියන් ප්‍රධාන පිරිසක් බවයි සඳහන් වෙන්නේ.
කැමති සේ නොපැවතීම, කැමැත්ත ඉෂ්ට නොවීම, අතෘප්තිකර ස්වභාවය, පෙලෙන ස්වභාවය, පීඩන ස්වභාවය. උදය-වය ස්වභාවය.

මේ අර්ථ වලට පාදක වෙලා තියෙන්නේ නිරුක්ති පටිසම්භිදා ඥානයෙන් "අනිච්ච" පදයට මතු වෙන අර්ථය සහ පරිවර්තනයට [word-by-word translations] ලක් නොවූ බුදු රජාණන් වහන්සේගේ සහ මහා රහතන් වහන්සේලාගේ "අනිච්ච කුමක්ද?" යන්න අර්ථ දැක්වූ තැන්. [Definitions]


අපට නිවන් දැකීමට පදය නෙමෙයි වැදගත් වෙන්නේ පදයෙන් අදහස් කල අර්ථයයි. ඒ නිසා කුමන පදය හෝ අර්ථය නිවැරදි ලෙස තෝරා ගැනීමට බලමු.


අනිත්‍ය පදයේ මූලාරම්භය


බුදු රජාණන් වහන්සේගේ ධර්මය දේශනා වී ඇත්තේ "මාගධී" යන භාෂාවෙන්. මෙය හැන්ගීම් භාෂාවක් වන අතර එය ලියන ක්‍රමයක් නැහැ සත්වයාගේ මූල භාෂාව ලෙසත් මෙය හඳුන්වනවා. පාලි යනු එම භාෂාව ලිවීමට භාවිතා කරන ලද "වට අකරු ක්‍රම වේදයක්" (Script).

අනිච්ච, Anichcha
අනිච්ච, Anichcha

මෙන්න මේ දේ ඉතා හොඳින් පැහැදිලි කරගන්න ඕනි.

සිව්පිලිසිම්බියා පත් මහ රහතන්වහන්සේලා මේ ධර්මය ආරක්ෂා කලේ කට පාඩමින් රැගෙන යමින්. එහිදී මේ සියුම් හැන්ගීම් භාෂාවේ අක්ෂර ඝන මාත්‍ර වෙනස් නොවී පවතිනවා. නමුත් වට අකරු ක්‍රමයකට මෙය සටහන් කලාම නැවත මෙය කියවන කෙනාට අක්ෂර ඝන මාත්‍ර වෙනස් වෙන්න ඉඩකඩ ඉතා වැඩියි. දෙවනුව මේ කට පාඩමින් රැගෙන යන ධර්මය අර්ථ පෙන්වීමට බුදු රජාණන් වහන්සේ අනු දැන වදාලේ "නිරුක්ති" ක්‍රම වේදය. මෙසේ අර්ථ දැක්වීමට "නිරුක්ති පටිසම්භිධා ඥානය" අවශ්‍ය වෙනවා. මෙය සෝවාන් ඵලයත් සමඟ ලැබෙන "ශ්‍රාවක සාධාරණ" ඥාණ 67න් එකක්. සිව්පිලිසිම්බියා ඥාන හතරින් එකක්. චිත්ත ගෘහ පති, ඛුජ්ජුත්තරා උපාසිකාව ආදී සෝවාන්ඵල ලාබී උපාසක උපාසිකාවන්ට පවා මේ ඥාණ තිබුනා.


ඉහත ත්‍රිපිටක සටහන හොඳින් බලන්න.

යමෙළු සහ තෙකුල යන පුද්ගලයින් දෙදෙනා එක්තාරා යෝජනාවක් කරනවා බුදුරජාණන් වහන්සේට. ඒ තමයි බුද්ධ භාසිතය, වෛදික (සංස්කෘත) භාෂාවට  පරිවර්තනය කිරීමට! බුදු රජාණන් වහන්සේ ඒ භික්ෂුන්ට නිග්‍රහ කර එසේ නොකිරීමට ඇවතක් පවා පනවනවා. එසේ කර නිරුක්ති ක්‍රම වේදයෙන් අර්ථ ගැන්වීමට අනු දැන වදාරනවා.

ලෝක සත්වයින්ගේ මහත් වූ අභාග්‍යයට, ඉහත බුද්ධ දේශනාවට විරුද්ධව කටයුතු කල පිරිස් විසින් බුද්ධ දේශනාව වෛදික භාෂාවට නගා ලියා තබනවා. "අනිත්‍ය" කියන්නේ වෛදික (සංස්කෘත) වචනයක්. අනිච්ච යන්න තිබුණු සෑම තැනකටම "අනිත්‍ය" කියන වෛදික පදය යොදා බුද්ධ දේශනාව පරිවර්තය කරනවා. (අනාත්ම යන පදයද වෛදික පදයකි)

අනිත්‍ය අනාත්ම වේදයේ එන සංකල්ප නිසා තමයි ඔවුන් මෙය කරලා තියෙන්නේ.

Anicca
Anicca
අනිච්ච පදය දුටු සෑම තැනම ඒ වෙනුවට "අනිත්‍ය" කියා යොදා තිබුනත් මෙය අර්ථ වශයෙන් නොගැලපෙන බොහෝ තැන් තුන් පිටකය තුල පවතිනවා. එවැනි ඇතැම් තැන් වලට "අනිස" යන පදය යොදා තිබෙනවා. ඇතැම් තැන් වල කිසි සෙත් නොගැලපෙන ලෙස අනිත්‍ය ම යොදා තිබෙනවා. නමුත් ඉතා වැදගත් වෙන කාරණයක් තියනවා. ඒ තමයි "අනිච්ච" කුමක්ද කියා අසපු තැන් තුන් පිටකයේ තියනවා. ඒ තැන් වල වචන ලෙස කල පරිවර්තයෙන් (word-by-word) බේරී නිවැරදි අර්ථය ගන්න පුළුවන් වටිනා තැන්. මෙන්න මේ තැන් කීපයක් ඉදිරියට අපි අරන් බලමු.


මූලික "අනිච්ච" අර්ථය


අනිච්ච පදයට විවිධ අර්ථ දැක්වීම් ත්‍රිපිටක ධර්මය තුලම හමුවෙනවා. නමුත් ඊට පෙර ඒ අර්ථ සියල්ලට පාදක වෙන මූලික සැකිල්ල අපි බලමු.

ලොව්තුරා සම්මා සම්බුදුවරෙයෙක් ලෝකයට දේශනා කරන්නේ පටිච්චසමුප්පාද ධර්මය. ධර්මය කියන්නේ ධරණ ස්වභාවය. ලෝකය ධරන්නේ පටිච්චසමුප්පාදයට අනුව. පටිච්චසමුප්පාදය සාගරය වගේ. පටිච්චසමුප්පාදය යෙදෙන තැන අනුව විවිද ආකාරය ගන්නවා. සියලුම පටිච්චසමුප්පාද චක්‍ර ශ්‍රාවක ගෝචර නැහැ. සියල්ල ගෝචර වන්නේ ලොව්තුර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. නමුත් දුකෙන් නිදහස් වීමට අවශ්‍ය පටිච්චසමුප්පාදය ශ්‍රාවක ගොචරයි.  ඒ ඒ මොහොතේ ඇති වන මේ පටිච්චසමුප්පාද චක්‍රය "ඉදපච්චේතා පටිච්චසමුප්පාදය" ලෙස පෙන්වා දෙනවා.

පටිච්චසමුප්පාදය සරලව



පටිච්චසමුප්පාදය









..
පටිච්චසමුප්පාදය දකිනවා කියන්නේ මේ පද වැල මතක තබා ගැනීම හෝ කට පාඩම් කිරීම නෙවෙයි. මෙහි ක්‍රියාකාරීත්ව ප්‍රයෝගිකව එදිනෙදා ජීවිතයේදී දැකීම.

පටිච්චසමුප්පාදය ඉතා සරලව දකිනවා කියන්නේ දුක උදාවෙන හැටිත් එය නිරෝධ කර ගන්න හැටිත් දැක්කා කියන එක. මේ දේ එදා සත් අවුරුදු දරුවන්ද, ලොකු ඉගෙනීමක් නොතිබුණු සුනීත, සෝපාක ආදී පුද්ගලයින් පවා දැක ගත්තා.

පටිච්චසමුප්පාදය සරලව තේරුම් ගැනීමට මේ චක්‍රයේ පද දෙකක් අනිවාර්යයෙන්ම තේරුම් කර ගන්න ඕනි.

සංකාර
"සංකර" කියන්නේ හිතන, කියන සහ කරන දේ. (Actions)
කයින් කරන ක්‍රියා  -> කාය සංකාර
වචනයින් කරන ක්‍රියා -> වචී සංකාර
මනසින් කරන ක්‍රියා -> මනෝ සංකාර
(සත්වයාට, හිතනවා කියනවා කරනවා ඇරෙන්න වෙන මොනවද කරන්න පුළුවන්?)

සංකාර යනු සරලව ගත්තොත්, සිත-කය-vachanaya ක්‍රියාත්මක කිරීම්.
ඇත්තටම ගත්තොත් සංකාර සඳහා මුළු ත්රිපිටකය පුරාවටම ඇත්තේ මීට සමාන අර්ථය සමූහයකි. නමුත් ඇතැම් ආචාර්ය වාද වල මෙය සංකත හැඳින්වීමටද යොදා ගෙන ඇත. මෙය විශාල වරදකි. සංකත යනු සංකාර ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. සරල උදාහරණයක් කිව්වොත්, ගඩොල්, ගඩොල් එකතු කරන සංකාර ක්‍රියාවලියකින් ගෙයක් කියන සංකතය බිහි වෙනවා. ගඩොල් කියන්න සංකත ටික සංකාර කරලා වෙන සංකතයක් හැදුවා. බුදු රජාණන් වහන්සේගේ සංකාර අර්ථ දැක්වීමත් මෙයමයි. "සංකත අභිසංකරණය කරන හෙයින් සංකාර වේ". සංකත ටිකක් වෙන සංකත ටිකක් කරන්න තමයි ලෝක සත්වයා වෙහෙසෙන්නේ.

සැ.යු.:- "සංස්කාර" කියලා බුද්ධ වචනයක් නැහැ. ඒක සංකාර කියන පදයට දුන්නු සංස්කෘත/වේද පරිවර්තනයක් විතරයි.

ජාති
ජාති කියන්නේ ජාතියක් කියන එක, උපතටත් ජාති කියනවා, නමුත් මෙතන පෙන්වන්නේ "ජාතිය" කියන දේ. උදා. ගුරුවර ජාතිය, පියා ජාතිය, මව ජාතිය, පෙම්වතා ජාතිය ආදී ලෙස.  අපි හැමෝම උප්පතිය ලැබුවේ මනුස්ස ජාතිය ලෙස. නමුත්, එදිනෙදා ජීවිතයේ අපි එක එක ජාති බවට පත් වෙනවා නේද? කොහොමද ඒ ජාති පහල උනේ?

ජාති යන්න අර්ථ දෙකකින් යෙදෙනවා. පටිච්චසමුප්පාදය තුල යෙදෙන්නේ මේ දක්වා ඇති අර්ථයෙන්. 

දැන් සරල උදාහරණ කීපයක් අරන් බලමු පටිච්චසමුප්පාදයක් දකින හැටි....

උදා.1

සොරෙක් අවබෝධ කර ගන්නවා "සොර කම් කිරීම" නිසා තමයි මම "හොරෙක්" උනේ. අම්මගේ බඩෙන් ඉපදුනේ මනුස්සයෙක් විදිහට. දැන් "හොරෙක්" උපදිලා. ඒ නිසයි මම අද හිරේ දුක් විඳින්නේ. තවද, මම සොරකම් නොකලා නම් සොරෙක් වෙන්නේ නැහැ. එහෙනම් හිරේ අද දුක් විඳින්නේ නැහැ නේ.

සොර ජාතිය හොඳයි යන අවිද්‍යාව => සොර කම් කිරීම => => සොරා => සොරා ලෙස දුක් විඳීම
අවිද්‍යා => සංකාරා ==> ජාති => ජාතියට අදාළ දුක්.

අම්මගේ බඩෙන් හොරු ඉපදෙන්නේ (ජාත වෙන්නේ)නැහැ. හොර කම් කිරීම කියන සංකාර ක්‍රියාවලිය තමයි හොර ජාතිය බිහි කලේ. ඊට පස්සේ තමයි ඊට අදාළ දුක් කඳ උදා උනේ. දුක් උදා වීම දැක්කා. හොරකම් කිරීම හරයක් නැහැ, භයානකයි ඒ නිසා මම ඉන් මිදෙනවා. අන්න දුකෙන් මිදීමක් දැක්කා.

උදා.2.

බේබද්දෙක් දකිනවා මම අද බේබද්දෙක් ලෙස හංවඩු ගැහුනේ බීමත් කම නිසා. බීමට අසා උනාට බේබදු ජාතිය දුක් සහිතයි. බොන්න බැරි දවසට ඉන්න බැහැ, පෙළෙනවා. ඊට පස්සේ බොන්න හොයාගන්න සැහෙන්න දඟලන්න ඕනි. ඊට අවශ්‍ය දේ නිකන් පහල වෙන්නේ නැහැනේ. ඔක්කොම කරලා ගොඩ නගා ගත්තට පස්සේ පොඩි වෙලාවයි ආස්වාදය, ඊට පස්සේ ආදීනව ටික. ටික නෙමෙයි ගොඩ.

මේ විදිහට බීමත් කම කියන සංකාර වැඩ පිළිවෙල නිසා තමයි බේබදු ජාතිය පහල උනේ. ඊට අදාළ දුක් කන්දකට පත් උනේ ඊට පස්සේ. දුකෙන් නිදහස් වෙන්න නම් ඒ සංකාර වලින් මෙදෙන්න ඕනි. අන්න දුකක් උදා වෙන හැටි සහ නිරෝධ කරන ගන්න හැටි දැක්කා.

උදා 3,4,5.....

මේ වගේ ලෝකයේ යම් ජාතියක් පහල උනාද ඒ සියල්ල සංකාර ප්‍රත්යයෙන්මයි. ඒකාන්තයෙන් දුක් කඳක් උදා කරනවා. දුක් නොදෙන ජාතියක් නැහැ.

සබ්බේ සංඛාර දුක්ඛාතී
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විශුද්ධියා

දැන් ඉහත ගාථාවේ තේරුම පැහැදිලි වෙන්න ඕනි.

තවද,
මේ ගාථාවට පෙර මෙහෙම කොටසකුත් තියනවා.

සබ්බේ සංඛාර අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විශුද්ධියා

එතකොට සියලු සංකාර (හිතන කියන කරන දේ) අනිච්ච වෙන්නේ කොහොමද?

අනිච්ච දැකීම.


අනිච්ච

ඉහත විස්තර කරන ලද පටිච්චසමුප්පාදය ඕනෑම ජාතියකට දාල බලලා ඒ ජාතියට අදාළ දුකෙන් නිදහස් වෙන්න භාවිතා කරන්න පුළුවන්. යම් දෙයක් හිතන, කියන හෝ කරන කොට මෙයින් උදාවෙන ජාතිය සහ ඉන් උදාවෙන්න තියන දුක දකින්න පුළුවන්. කෙලවර තියෙන දුක් කඳ දකින්න පුළුවන්. මතු විඳින්න තියන දුක දකින්න පුළුවන්. එහෙනම් මේ කරන්න යන වැඩ (හිතන කියන කරන දේ) කැමැත්ත ඉෂ්ඨ කරයිද? කෙලවර තියෙන්නේ දුක් කන්දක් නම් කැමැත්ත ඉෂ්ට කරන්නේ කොහොමද?

එහෙනම් කෙලවර සැපක් සහනයක් අමුර්තයක් ලැබේ කියන අදහසින් (අවිද්‍යාවෙන්) හිතන කියන කරන කිසිම වැඩක් (සංකාරයක්), දුක් කන්දක් උදා කරනවා මිසක් කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ නේද? අන්න අනිච්ච දැක්කා.

සැපක් සහනයක් බලාපොරොත්තුවෙන් හිතන කියන කරන කිසිම දෙයක් කැමැත්ත ඉෂ්ට කරන්නේ නැත්තේ මේ පටිච්චසමුප්පාදය නිසා මයි. පටිච්චසමුප්පාදය දැක්කනම් අනිච්ච දැක්කා. අනිච්ච දැක්කා නම් පටිච්චසමුප්පාදය දැක්කා.

සබ්බේ සංඛාර අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විශුද්ධියා


වෙනත් අනිච්ච අර්ථ


පටිච්චසමුප්පාද ධර්මයට අනුව ගොඩනැඟුණු ඉහත දක්වූ අනිච්ච යන මූලික අර්ථයට පාදක වෙමින් ගොඩනැගුනු අනු අර්ථ කීපයක් දැන් බලමු. මේ අර්ථ සියල්ල පටිච්චසමුප්පාදය තුලම පවතින අනු අර්ථ වේ.

1.අනිස
2.කැමැත්ත ඉෂ්ට නොවීම
3.කැමැත්තට නොපැවතීම
4.පෙලෙන ස්වභාවය
5.පීඩන ස්වභාවය
6.උත්පාද වය ස්වභාවය
7.පහත හෙලන/විනාස වන අර්ථය

දැන් අපි මේ අර්ථ එකින් එක ගෙන බලමු.


1. අනිස


සම්බුදු දේශනාව පරිවර්තනය කිරීමේදී "අනිච්ච" පදයට "අනිත්‍ය" කියා යොදා ඇති තැන් වගේම "අනිස" කියා යෙදූ තැන්ද තිබෙනවා. මේ පරිවර්තනය පවා අවබෝධයකින් නොකල බවක් පෙනෙන තැන් තිබෙනවා. මේ පහත තිබෙන්නේ බුදු රජාණන් වහන්සේගේ අති ඝාම්භීර දේශනාවක් වන "ආදිත්තපරියාය සූත්‍රයේ" කොටසක්. මෙහි පරිවර්තනය හොඳ සිහියෙන් කියවා බලන්න.


මෙහි දෝෂ වඩාත් පහසුවෙන් බලා ගැනීමට පහත රූපය බලන්න...


පරිවර්තනය අනවබෝධයෙන් කල බවට ඉහත ඇත්තේ තවත් එක් හොඳ සාක්ෂියක්.

නමුත් මේ "අනිස" කියන පදය ඉහත විස්තර කල මූලික අනිච්ච අර්ථයට ඉතා හොඳින් ගැලපෙනවා. වසර ගණනාවකට පෙර ගිනිබත් කර විනාශ කරන ලද හෙළ අටුවා ග්‍රන්ථයන්ගේ තිබී ඇත්තේ මේ "අනිස" කියන පදය බවටද මතයක් තිබෙනවා.

අනිස යන්නෙහි අර්ථය අපි සරලව තෝරා ගනිමු.

මින් අදහස් වන්නේ "අනිසියි" කියන අර්ථය. යමක් පරිහරණය සඳහා නොසුදුසුයි, අනිසියි. පරිහරණය කලොත් විනාසයි. කැමැත්ත නම් ඉෂ්ඨ වෙන්නේ නැහැ කොහෙත්ම.

යමකට ජරා, මරණ උරුම නම් ඒ දේ නිසිද? අනිසිද? තමන් බැඳුනු රැඳුනු යමක් සිහියට අරගෙන සිහිකර බලන්න එය ජරා, මරණ උරුම දෙයක්ද? නැති දෙයක්ද? කියලා. ජරා මරණ උරුම දෙයක් පරිහරණය කරන්න වෙන්නේ කැඩෙයිද? බිඳෙයිද? එහෙම නැත්නම් කවුරු හරි කඩයිද? බිඳියිද? කියන නිරන්තර භයෙන් නෙමෙයිද? මේ භය නැති කර ගන්න ඒවා පරිස්සම් කරගන්න උත්සහ වීර්ය නිරන්තරයෙන් යෙදිය යුතුද නැද්ද? කෙතරම් උත්සහ කලත් අවසානයේ ඊට උරුම ධර්මතාවය ක්‍රියාත්මක වෙලා ජරාවට මරණයට පත්වෙනවා.
යමකට බැඳුනානම් එය ඒකාන්තයෙන්ම අනිසියි!

දැන් බලන්න තමන් රැඳුන බැඳුන සියල්ලට ජරා මරණ උරුමයි නේද කියලා එහෙනම් ඒ  සියල්ල නිසිද? අනිසිද?
ඒකාන්තයෙන්ම සියල්ල අනිසියි! -> සියල්ල අනිච්චයි!!

උදාහරණයක් අරන් බලමු (ඉතා සරල)
ඔබ ප්‍රියතම මාදිලියේ වාහනයක් ප්‍රදර්ශනාගාරයෙන්ම ගන්නවා. දැන් මේක තියෙන්නේ ප්‍රදර්ශනාගාර තත්වයේ (showroom condition). මෙය මිලදී ගත් පළමු තත්පරයේ සිට මෙහි පරිනාමය නෙමෙයි වෙන්නේ විපරිනාමය. ඒ කිව්වේ නැග්ග ගමන් කාපට් වල කුණු ගෑවෙනවා. පාරට දාපු ගමන් දූවිලි වැදෙනවා. සියලුම කොටස් මාත්‍රයක් හෝ ගෙවෙනවා. සීරෙනවා. හැපිලා තැලෙනවා. දැන් මේක ප්‍රදර්ශනාගාර තත්වය නැති වෙන එකම තමයි උරුම. ඒ කිව්වේ ජරා ලක්ෂණයමයි උරුම. මේ ජරාවට පත් වීම කැමැත්ත ඉෂ්ඨ නොවීමක්. දැන් බලමු හොඳම හරිය...
නිකන් බලන් ඉඳලා ප්‍රදර්ශනාගාර තත්වයට මේක ඉබේ පත් වෙන්නේ නැහැ. ලෝකයේ එහෙම ස්වභාවයක් ධරන්නේ නැහැ. උත්සාහයෙන් වෙහෙසිලා වැඩ කරන්න ඕනි බැඳුනු මුල් තත්වයට ගේන්න. සෝදන්න ඕනි. service කරන්න ඕනි. හපුනොත් තැලුනොත් ඒවා හදන්න ඕනි. ඒ විතරද? ඕනි තැනක වාහනය නවත්තලා යන්න පුලුවන්ද භය නැතුව? පංචිකාවත්ත පැත්තේ පාරක නවත්තලා ගිහිල්ලා හිතේ සහනෙන් වැඩක් කරන්න පුලුවන්ද? හොරු අරන් යයිද? නැතිවෙයිද? විනාස වෙයිද? කියන නිරන්තර භයෙන් පෙලීමෙන් තමයි ඉන්න වෙන්නේ. නමුත්,
වාහනයට තියන කැමැත්ත නිසා මේ දුක් කඳම වැහෙනවා. එකකට දුක් විඳලා විඳලා නැති උනාම තවත් ඒ ජාතියේම එකක් පතනවා. මට නැහැනේ කියලා පෙළෙනවා. ඉවරයක් කර ගන්න බැහැ.

දැන් තව දෙයක්, මේ දුක් කඳ පහල වුනේ "වාහනයට ප්‍රිය ජාතිය" උදා වුන නිසා නේද කියල පොඩ්ඩක් හිතලා බලන්න. ඒ ජාතිය පිටුපස ඊට උරුම වූ දුක්කන්ද දකින්න දකින්න ඒ ප්‍රිය ජාතිය නිරෝධ වෙනවා. වාහනයෙන් ගත හැකි යම් ප්‍රයෝජනයක් තියනවා නම් ඒ දේ ගන්න පුළුවන් දුකෙන් නිදහස් වෙලා. යමකට තියන චන්දරාගය තමයි දුක උදා කරන්නේ, ඒ ද්‍රව්‍ය වස්තුව නෙමෙයි.

දැන් ඉහත උදාහරණයේ ප්‍රිය වාහනය වෙනුවට, ප්‍රිය වූ ඕනෑම ද්‍රව්‍ය වස්තුවක් දාල බලන්න. තමන්ගේ "කය" දාලා බලන්න.


2. කැමැත්ත ඉෂ්ට නොවීම


මේ අර්ථය කෙලින්ම අවිද්‍යා මූලික පටිච්චසමුප්පාදය මුල සිට අගට යනකම් දැක්කනම් ලැබෙන අවබෝධයම තමයි.

කැමැත්ත ඉෂ්ට නොවීම කියන කාරණය හරි ආකාරයට දකින්න අපහසු නිසා විවිද වැරදි අර්ථ විග්‍රහ වලට යන්න ඉඩ තියනවා. ඒ නිසා ඒ පිලිබඳ කෙටි විග්‍රහයක් අරන් බලමු.

කැමැත්ත ඉෂ්ට නොවන බව පෙනෙන්නේ ප්‍රඥාවට මිසක් වේදනාවට නෙමෙයි. කැමැත්ත ඉෂ්ට නොවන ආකාරය දැකිය යුත්තේ ඒ දේ පටිච්චසමුප්පාදය දැකීමෙන්.

අපි උදාහරණයක් අරන් බලමු.

කෙනෙක් කියන්න පුළුවන් සියල්ල කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කිව්වට, කැමැත්ත ඉෂ්ට වෙන අවස්ථා ඕනි තරම් තියනවානේ කියලා.

"අයිස් ක්‍රීම් එකක් කන්න ඕනි උනා, කඩේට ගියා සල්ලි දීලා ගත්ත කෑවා!" ඉතින් ඔය කැමැත්ත ඉෂ්ට උනේ!!

මේ කියන්නේ ප්‍රඥාවෙන් දැකලා නෙමෙයි, වේදනා චෛතසිකයෙන් දැකලා. මතුපිටින් දැකලා.
මේ දේ පටිච්චසමුප්පාදයට දාලා බලමු ඇත්තටම කැමැත්ත ඉෂ්ට වෙනවාද කියලා.

මෙතන කැමැත්ත ආවේ "අයිස් ක්‍රීම් කන (විඳින) ජාතිය"ට. දැන් මේ ජාතිය නිකන් පහල වෙනවද? නැහැ ගොඩ නගාගන්න ඕනි.

හිතපු ගමන් අයිස් ක්‍රීම් එක කටේ මැවෙන්නේ නැහැනේ. ඒ වෙනුවෙන් සිත-කය-වචනය වෙහෙසා වැඩ කල යුතුයි. ඒ ටික සැප නැහැනේ, දුක් විඳින්න වෙනවා. මුදල් හොයන්න වෙහෙසෙන්න වෙනවා. තෑග්ගක් ලෙස ලබුනත් ඒ ඵලයට හේතු හදන්න මින් පෙර දුකක් විඳලා තියෙන්නම ඕනි. අයිස් ක්‍රීම් එක විතරක් තිබිලා වැඩක් නැහැ, විඳින්න දිව හැදිලා තියෙන්නත් ඕනි. මනුස්ස දිව, මනුස්ස කය මේ අති දුර්ලභ සුගති ලෝකයේ කය ලබන්න පෙර දුක් විඳලා හේතු හදලා තියෙන්න ඕනි. මනුස්ස කය නිකන් පහල වෙන්නේ නැහැනේ. මේ ආකාරයට ගැඹුරට ගැඹුරට විදර්ශනා කරලා බලන්න පුළුවන් ඒ "අයිස් ක්‍රීම් කන ජාතිය" පහල වෙන්න පෙර (මොහොතකට පෙර සිට) කොච්චර දුක් විඳලද ඒක පහල කරගන්නේ කියලා.

තව පැත්තකින්, මින් පෙර අයිස් ක්‍රීම් කාලා තියනවා නම්, ඔහුට ඒ ජාතිය නැවත පහල කරගන්න තුරු පෙලීමක් එනවා. ලොකු මානසික පීඩනයක්. ඇත්තට බැලුවොත් ඒ වටිනවා සාරයි කියලා ගත්ත "අයිස් ක්‍රීම් කන ජාතියේ" වියෝ දුකත් මරණ දුකත් තමයි මේ විඳින්නේ. නැවත පහල කරගන්නකන් ඒ ජාතිය මැරිලා නේ.

දැන් කොහොම හරි අයිස් ක්‍රීම් අරන් කනවා කියමුකෝ. වේදනාව සන්තතිකව එක දිගට පවතින්නේ නැහැ. දිය බුබුලක් වගේ. වේදනාව අතීතයට ගිය ගමන් නැවත දුකක් විඳ ස්පර්ෂ කර ගන්න වෙනවා. මේක නොනවත්වා කරන්න වෙනවා. මනුස්ස ලෝකේ එතරම් නොවුනත්, සත්ව ලෝකේ නම් කිසිම අහරක් හිතේ සහනෙන් කන්න බැහැ. එක්කෝ අහාරය වෙන සතෙක් උදුරා ගනීද එහෙම නැත්නම් මාව වෙන සතෙක් ගොදුරු කර ගනීද යන නිරන්තර භයින් තමයි අහාර ගන්නේ.

කෙතරම් පරිස්සමින් පරිහරණය කලත්, නැති වෙනවා නැති වෙනවා මයි. එක්කෝ කාල ඉවර වෙනවා එහෙම නැත්නම් උදුරලා ඉවර වෙනවා. එහි මරණය නියතයි.

මනුස්ස සුගතියේ පෙර පුණ්‍ය කර්මයක් ඵල දෙන අති දුර්ලභ අවස්තාවක් තමයි අපි ඉහත බැලුවේ. මේ අවස්ථාවේ පවා නොපෙනුන දුක් කෙතරම් ප්‍රමාණයක් තිබුනද? අනිත් අවස්ථා ගැන කවර කතාද?

නොපෙනුන, සැඟවුන දුක් කඳ දකින්න වැදගත් වෙන ක්‍රම වේදයක් බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියනවා. ඒ තමයි සෑම ජාතියක්ම දුක් තුනකින් යුක්ත බව දැකීම.

ඕනෑම ජාතියක් ගොඩ නැගීමේදී, පවත්වාගෙන යාමේදී සහ අවසානයේදී දුක් විඳීම ඒකාන්තයි. දුකෙන් වහගෙන තියෙන්නේ.

දැන් මේ අනුව යතාර්ථය දැක්කනම් කොයි ජාතියක් පහල කර ගත්තත් කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ කියන දේ ප්‍රත්‍යක්ෂව දකිනවා.


3. කැමැත්තට නොපැවතීම


නිරුක්ති පටිසම්භිදා ඥානය ශ්‍රාවක සාධාරණ ඥාන 67න් එකක්. (73ක් බුද්ධ ඥාන අතුරෙන් 6ක් පමණයි අසාධාරණ ලෙස පෙන්වන්නේ. ඒ හය සම්මා සම්බුදු වරුන්ට පමණක් පිහිටන ඥාන). නිරුක්ති පටිසම්භිදා ඥානය ධර්මය විග්‍රහ කර පෙන්වීමට අතිශය වැදගත් සිව්පිලිසිම්බියා ඥාන හතරින් එකක්ද වෙනවා. සෝවාන් ඵල ලාබීව සිටි ඛුජ්ජුත්තරා ගිහි උපාසිකාව, උපාලි ගෘහපති උපාසක තුමාට ආදීන්ටද සිව්පිලිසිඹියා ඥාන තිබුන බව ධර්මයේ සඳහන් වෙනවා. මෙකලද, මේ නිරුක්ති ඥානය යම් තාක් දුරකට මාත්‍ර වශයෙන් හෝ ඇතැම් පින්වතුනට තියෙන්න පුළුවන්. ඒ වගේම දහම් මනසිකාරයෙන් යුතුව සිටින ධමානුධම්ම පිළිවෙතෙහි සිටින පින්වතුන්ට මේ ඥානය වර්ධනය වෙනවා.

කෙසේ හෝ නිරුක්ති ඥාන මාත්‍රයක් හෝ තිබෙන පින්වතෙකුට "අනිච්ච" යන හඬ ඇසුණු ගමන් එහිම ගැබ් වුනු අර්ථය දැනෙනවා. (නිරුක්ති ඥාන මගින් අර්ථය මනසට කෙලින්ම ගෝචර වෙනවා මිසක් යම් යම් භාෂා රීති වලට අනුව පද කැඩීමක් නොවෙයි මෙතන සිද්ධ වෙන්නේ)

ඒ අනුව,
ඉච්ච -> කැමැත්ත යන අර්ථයද,
නිච්ච -> කැමැත්තට පවතී යන අර්ථයද,
අනිච්ච -> කැමැත්තට නොපවතී යන අර්ථයද,
ලැබේ.

නිරුක්තිය ලබා ගන්නේ යෙදෙන තැන අනුව ඒ ශබ්දය ප්‍රදාන කර ගෙන. ඒ නිසා අනිච්ච, අනිච්ඡ කොයි ආකාරයට ලිවුවත් එකම අර්ථය එන්නේ. ලියන වට අකුරු ක්‍රම පස්සේ හදාගත් ලෞකික ක්‍රම වේද.

ඇත්තටම ගත්තොත් සිංහලයින්ට අනිච්ච පදය හුරුයි.

  • අනිච්චානුග පේශීන්, අනිච්චානුග ස්නායු පද්දතිය ආදිය හඳුන්වන්නේ කුමන අදහසකින්ද?
  • අනේ අනිච්චං කිව්වේ කුමන අදහසකින්ද?


4. පෙලෙන ස්වභාවය


අනිච්ච අර්ථ වලින් ඉතා වැදගත් අර්ථයක්. ලොව්තුරා බුදු රජාණන් වහන්සේ විසින්ම ලබා දුන් අර්ථ දැක්වීමට අදාළව ගත් අර්ථයක්. මේ අර්ථ දැක්වීම පදෙන් පදේ කරන ලද පරිවර්තන වලින් බේරිලා තියනවා, මක් නිසාද යත් මෙය අර්ථ දැක්වීමක් නිසා (a definition). ආනන්ද ස්වාමීන්වහන්සේට සබ්බ සංකාර කෙරෙහි අනිච්ච සංඥාව කුමක්ද? යන්න වෙනත් වචන පද භාවිතා කරමින් බුදු රජාණන්වහන්සේ වදාළ අර්ථ දැක්වීම.

ඒ ශ්‍රී මුඛ දේශනාව බලන්න.




අට්ටීයති යන්න පෙලෙන යන පදයෙන් කෙතරම් සාර්ථකව අර්ථ ගැන්වේද යන්න විවාදාත්මකයි. කෙසේ නමුත් මෙහිදී බුදු රජාණන් වහන්සේ පෙන්වන්න හදන අර්ථය තෝරා ගැනීම එතරම් අපහසු නැහැ. එය ඉහත විස්තර කරන ලද පටිච්චසමුප්පාදය තුල මනාව බහා හිටිනවා.

මෙහි අර්ථය තෝරා ගැනීමට මේ පැරණි ලෝවැඩ සඟරාවේ කවිය උපකාර වෙනවා.


අනිච්ච - පෙලීම
මස් ලේ නැති ඇට බලු ලෙව කන්නේ 
කුස් පිරුමක් පලයක් නො ලබන්නේ
ලෙස් ඒ සැපතෙහි ලොබ නො සිතන්නේ
දොස් නො පෙනෙනු මිස දුක් මයි වන්නේ


බල්ලෙකු මස් නොමැති ඇට කැබැල්ලක් හපන්නේ ආස්වාද ලැබීමේ බලාපොරොත්තුවෙන්, කය වෙහෙසමින් මහා දුකකින් පෙළෙමින් ඒ සතා මේ ක්‍රියාවේ යෙදෙනවා. කුස පිරීමක් වෙන්නේ නැහැ, තෘප්තිමත් වෙන්නෙත් නැහැ, නවත්තගන්නත් බැහැ, ලැබුණු සහනයකුත් නැහැ. වෙහෙසීම පමණයි.

අවට වෙනත් බල්ලන් සිටීනම් ඒ සතුන්ටත් මේක කරන්න හිතෙනවා, උනුත් හිතන්නේ "කට්ට කන" බල්ලා මහා ආස්වාදයක් ලබනවා කියලා. ඉතින් උනුත් පොරකනවා.

ලෝකයේ පංච කාමය හඹා යාමත් මෙන්න මේ වගේ "කට්ට කන" වැඩක්. ලෝක සත්වයා සිත කය වචනය වෙහෙසා කරන තරමක් කරන්නේ පංච කාමය හඹා යෑම. ඒ ඔක්කොම සංකාර (සිතින් කයින් වචනයින් කරන ක්‍රියා) සියල්ල අනිච්චයි. පෙලනවා, ලජ්ජා විය යුතයි, මල-මුත්‍රා වගේ. සබ්බ සන්කාරේසු අනිච්ච සංඥාව මෙයයි.


මේ අදහසම ලබා ගන්න පහසු වෙන තවත් උදාහරණයක්.

ඔබ පනිට්ටුවකට වතුර එකතු කරන්න හදනවා. බොහෝ වෙහෙස වෙනවා. නමුත් පුරවනවා පුරවනවා නවත්තගන්න බැහැ, පිරෙන්නෙත් නැහැ, වෙහෙස විතරයි.

පසුව දකිනවා මේ පනිට්ටුවේ පහල හිල් බොහොමයක් තියනවා, දාන වතුර ඔක්කොම එලියට යනවා. කවදාවත්, කෙතරම් වෙහෙසුනත් පනිට්ටුව පුරවන්න බැහැ.

මහා වෙහෙසක්, පෙලීමක් ඇති කරනවා හැර වෙනත් දෙයක් ලැබෙනවාද? මේ වෙහෙසීම (සංකාර) ගැන අදහස කුමක්ද?


අනිච්චා වත සංකාරා

අනිච්චා වත සංකාරා ගාථාවෙන් අර්ථ දක්වන්නේද මෙම ගැඹුරු විදර්ශනාත්මක අර්ථයමයි.

මල ගෙදරකට වඩින රහතන් වහන්සේ නමක් මෘත දේහය දෙස බලා සිටින විට නැගෙන අදහස කැටි කර තමයි මේ ගාථාවේ පෙන්වන්නේ. කුඩා මස් වැදැල්ලක් ලෙස ලොවට පහල වෙලා සෑම දිනකම උදේ සිට නිදියන තුරු නොකඩවා සිතින් කයින් වෙහෙසෙනවා යම් යම් දේ ගොඩ නගන්න. අන්තිමට ඒ ඔක්කොම දඟලපු දැඟලිල්ල, ගඟට කපපු ඉනි වගේ. පොළොවේ පස විතරයි වැඩි කරලා තියෙන්නේ අන්තිමට.

නොනවත්වා උපතේ සිට මරණය දක්වා සිත කය වචනය වෙහෙසා කරන ලද ක්‍රියා වලියට කියන්නේ "සංකාර වෘතය" කියලා. මෘත දේහය දැක්කම ඇස් පනා පිට පේනවා ඒ සංකාර වෘතය වැඩක් වෙලා නැහැ කියලා.

නොනවත්වා කරන සංකාර වෘතය (ක්‍රියාවන්) කැමැත්ත ඉෂ්ට නොකරයි, උත්පාද කර දෙන්නේ වය ධර්මයක් මයි. (වය ධර්ම යනු ජරා-මරණ සහිත, 11 ගිනි උදාකරන, විනාස කරන වැය ධම්ම (සංකත). ආර්ය විනයේ වැය කියන්නේ විපරිණාමයට නෙමෙයි. (පහත උදය-වැය විග්‍රහය බලන්න).


5. පීඩන ස්වභාවය


අනිච්ච යන්නේහි අර්ථය පෙන්වා දෙන තවත් වැදගත් තැනක් හමුවෙනවා "පෙටකොපදෙස" අටුවා ග්‍රන්ථයේ. මෙහි ඇත්තේ මහා කච්චායන මහ රහතන් වහන්සේගේ ධර්ම දේශනා බව සඳහන් වෙනවා. උන්වහන්සේ බුදු රජාණන් වහන්සේ කෙටියෙන් වදාල ධර්මය විස්තරාත්මකව ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති භික්ෂූන් අතරින් අග තැන්පත් බව දරා සිටින ලදී.

අනිච්ච යන්නෙහි අර්ථය මහා කච්චායන මහ රහතන් වහන්සේ තෝරා දී ඇති අයුරු

පීඩන ස්වභාවය, ඉහත විස්තර කරන ලද බුදු රජාණන් වහන්සේ අර්ථ දක්වපු පෙලෙන ස්වභාවයට ඉතා සමානයි.


6. උත්පාද-වය ස්වභාවය

අනිච්ච දැකීමට ඇති ගැඹුරුම ක්‍රමය උත්පාද වය දැකීම. නමුත් අද වන විට මෙය බොහෝ විට විග්‍ර වෙන්නේ "ඇති වීම - නැති වීම" ලෙස. නමුත් ඉතා විස්තර සහිතව ත්‍රිපිටකය තුල  උදය සහ වය ලක්ෂණ විග්‍ර වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වූ අතිශය ගැඹුරු වූ අර්ථයකින්.

මෙහිදී දැකිය යුතු වැදගත්ම දෙය තමයි අද වන විට උදයවැය ලෙස පෙන්වන්නේ ඇති වීම නැති වීම කියලා. නමුත් ත්‍රිපිටක ධර්මයට අනුව නැති වීම තියෙන්නේ උදය ලක්ෂණය යටතේ!

නැති වීම => උදය ලක්ෂණය
නැති වීම සදහටම නැති කිරීම => වැය ලක්ෂණය.

පෘතක්ජන ලෝකයාගේ වැය කියන්නේ නැති වීම. ආර්යයෝ නැති වීම කියන්නේ සදහටම නැති වීමට. ඒ කිව්වේ නිරෝධයට. ආර්ය විනයේ වැය ලක්ෂනය ගැඹුරුයි ප්‍රඥා ගොචර්යි.

උදයව්‍ය ඥාන විග්‍රහ වෙන පටිසම්භිදාමග්ගප්‍රකරණයේ පළමු කොටසේ පෙන්වන්නේ මේ සාමාන්‍ය වැය. (පරිවර්තනයද යම් දුරකට දෝෂ සහිත වේ)


මේ සූත්‍රයේම ආර්යන්ගේ උදයවය ඥානය පසුව විග්‍රහ වෙනවා. එහි රූපයේ වැය ලක්ෂණය ඉතා හොඳින් කියවා බලන්න.


ඉහතින් පැහැදිලි කරනුයේ, රූපයේ වැය යනු පටිච්චසමුප්පාද නිරෝධය බවයි!

ඒ නිසා සමස්ත සූත්‍රයේම අර්ථය යනු,

උත්පාද වැය ඥානය යනු => ලෝකය පටිච්චසමුප්පාදය හරහා උදාවෙන හැටිත්, පටිච්චසමුප්පාදය නිරෝධ හරහා නිරෝධ වෙන හැටිත් පිලිබඳ අවබෝධය.
ඒ ඥානය යනු => ලෝකය කියලා උදාවෙන්නේ ගිනිගොඩක් බවත්! ඒ ගිනි ගොඩ නිවාගන්නත් පුළුවන් බවත්!! යන අවබෝධය.

මෙය අනිච්ච සඳහා ඇති ඉතා පරිපූර්ණ අර්ථයකි.

උදයව්‍ය ඥානය විග්‍රහ වන නෙත්තිපකරණිය තුල මෙය වඩාත් හොඳින් පැහැදිලි කරගත හැකියි. මේ සූත්‍ර සටහන බලන්න.

උදයව්‍ය ඥානය
උදයව්‍ය ඥානය යනු ඇතිවීම-නැතිවීම නොව පටිච්චසමුප්පාද සහය එහි නිරෝධය දැකීමයි.

7.පහත හෙලන/විනාස වන අර්ථය


මෙම අර්ථ දැක්වීම හමු වන්නේ පටිසම්භිධාමග්ගප‍්‍රකරණය යන මූලික අටුවා ග‍්‍රන්ථයේ.

අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරකට්ඨෙනාති

ඉහත අර්ථ දැක්වීම සම්බන්දව අද වන විට ඇති විශාලම ගැටලුව තමයි "ඛය" යන්න "ක්ෂය" ලෙස පරිවර්තනය කර එය අනිත්‍ය යන්නට ගැලපෙන බව දැක්වීමයි. නමුත් "ඛය" යන්නෙහි තේරුම පහතට හෙලන, විනාස කරන යන අදහස. මේ අදහස ඉහත ඉද පච්චේතා පටිච්චසමුප්පාදය තුල මැනවින් පේනවා.


Comments

  1. "නහි සීල වතං හේතු - උප්පජ්ජන්ති තථාගතා
    අට්ඨක්කරා ථීනි පදා - සම්බුද්ධේන ප්‍රකාශිතා"

    Meaka thripitakayea koheda thiyenne. Hudek danaganeema pinisa pamanai ahanne

    ReplyDelete
  2. විශිෂ්ඨයි, තෙරුවන් සරණයි!

    ReplyDelete
  3. Pradeep Jayatilaka18 December 2018 at 00:05

    දහමේ නිවැරදි අර්ථයන් දැන ගැනීම දහම් අවබෝධයට ඉතා අවශ්‍යය. එකම පදය අර්ථ දෙකකින් පිරිස් දෙකක් විසින් විස්තර කිරීම අනාගත පරපුර අවුලෙන් අවුලට පත් කිරීමකි. එනිසා නිවැරදි දහම් විග්‍රහයක් අත්‍යාවශ්‍යය.
    "අනිච්ච = අනිත්‍ය" ලෙස ගත විට නිවැරදි බව පෙන්වීමට
    පහත link එකේ පැහැදිලි දහම් විග්‍රහයක් ඇත.

    http://mahaviharaya.lk/article/25659

    ReplyDelete
  4. අති විශිෂ්ඨයි. අප්‍රමාණ පිං කුසල් වැඩෙනව මෙවැනි ධර්ම දාන වලට. නිවනම වෙත්වා.

    ReplyDelete
  5. Please contact me via g ma il sineth.lakshan

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඉතිපි, සෝ භගවා... නව ගුණ ගාථාවේ නිවැරදි උච්චාරණය

මොනවද මේ නිරුක්ති?